Wednesday, August 28, 2019

SMART SCHOOL පළමු වැඩසටහනෙන් ලැබු පන්නරයත් සමග පළමුවෙන්ම අප පරිගණක විද්‍යාගාරයේ දැක්ම වෙනස් කිරිමට කටයුතු යොදන ලදි.



විදුහල්පතිතුමාගෙන් ලද නොමද සහයත් සමගින් පාසලේ සියලු ගුරුභවතුන් කාණ්ඩ 3කට බෙදා මෙම වැඩ සටහන පිළිබද දැනුවත් කිරිමට වැඩසටහන සකස් කරන ලදි.

Tuesday, August 27, 2019

නව අත්දැකීමක පළමු පියවර......
                2019.02.13 වන දින SMART SCHOOL PROGRAMME සදහා අප පාසලෙන් ගුරුභවතුන් තිදෙනෙකු සහභාගි වූයේ එය තවත් එක් WORKSHOP එකක් ලෙස සිතාය.නමුදු අප නිවැරදි නොවුණි.එය සැබවින්ම දැනුම ලබා දුන්, තවදුරටත් දැනුම ලබා දෙන උල්පතක් බව අප සැමට පසක් වූයේ පළමු දේශනයෙන්මය.
              දුෂ්කර ප්‍රදේශයක දුෂ්කර ජාතික පාසලක ඉගෙන ගන්නා අහිංසක දුවා දරුවන්ගේ දෑස් පෑදිමට SMART SCHOOL වැඩසටහන මනා පිටුවහලක් වන බව අප සියලු දෙනාටම අවබෝධ විය.නමුදු එය පහසු නොවන බව අප තිදෙනාම දනි.අන්තර්ජාල පහසුකම අවම,ආර්ථික මට්ටම අතින් ඉතා අඩු,සිංහල හා දමිළ සම්මිශ්‍රණයක ආභාසයක් ඇති,අඩු අධ්‍යාපනයකින් යුත් දෙමව්පියන්ගේ දරු කැළක් අප හමුවට පැමිණෙන හෙයින් දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේ ආකල්ප වෙනස් කිරිම ඉතා ම අපහසු කටයුත්තකි.එමෙන්ම සාම්ප්‍රදායික අදහස් ඇති අපගේ ගුරු මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරිම ද අපහසු කටයුත්තකි.
           එවැනි ගැටලු රාශියක් අප හමුවේ තබා ගනිමින් අප එදින වැඩසටහන නිමා කලේ HEADSTART ආයතනයේ කාර්ය මණ්ඩලය අප පාසලත්  සුහුරු පාසලක් කරා ගෙන යාමට අපට ලබා දුන් පන්නරයත් ධනාත්මක අකල්පයත්,ඔවුන්ගේ සුහද  සිතත් සමගිනි.එමෙන්ම මධ්‍යම පළාතේ සියලුම පාසල් වලින් පාසල් 27 ක් පමණක් මෙම වැඩසටහන සදහා තෝරාගෙන ඇති බවත් ඒ අතර  අප පාසලත් ඇතුලත් වුවා මෙන්ම අප තිදෙනා එහි නියමුවෝ නිසා ඇති වූ අභිමානයත් සමගිනි.

Monday, July 22, 2019

පාසල් ඉතිහාසය......


ශ්‍රී දළදා පහසින් පින් බිමක් වූ ඓතිහාසික මහනුවර දිස්ත්‍රික්කයේ දුම්බර කඳුවැටි අතර බැබළෙන අමුපිටිය නම් වූ සුන්දර පරිසරයක අමුපිටිය ජාතික පාසල පිහිටා තිබෙයි. 1908 වර්ෂයේ කුඩා පොල් අතු මඩුවකින් ආරම්භ වී සියවසකුත් දශකයක දීඝායු ලැබ සිටින මේ විදුපියස ඔදවත්ව තෙදවත් ව බලවත්ව සදාකල් දිනේවා පළමුව ප්‍රාර්ථනා කරමු.

අතීත ලේඛනගත  තොරතුරු වලට අනුව තංගල්ලේ ධීරානන්ද හිමියන් විසින් තවත් පිරිසකගේ උදව්වකින් අමුපිටිය ශ්‍රී  වනවාසාරාම මහා විහාරයට අයිති  භූමියක මෙම පාසල ස්ථාපනය කර ඇත. සතුරු බලවේග නිසා වරෙක ගිනිබත් වූ බවත්, එනමුත් අධිෂ්ඨානශීලීව නැවත පාසල් ඉදිකර පවත්වාගෙන ගිය බවත් සඳහන් වේ.   කෙසේ වුවද 1942 දී ප්‍රාරම්භ පන්තිය ආරම්භ කර ඇති අතර 1960 දී පාසල රජයට පවරා ගැනීම් සිදුව ඇත . 1966   වසර වනවිට විට 8 වන ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වීමට තීරණය කර ඇත.  නමුත් එහිදී ප්‍රදේශවාසීන්ගේ  උද්‍යෝගය නිසාම එය වළක්වා ඇති අතර 1971 දී උසස් පෙළ පන්ති ආරම්භ කර ඇත . පාසලේ ස්වර්ණමය යුගයකට අපි අත්තිවාරම එයින් ලැබී ඇත.  පසුව   1972 දී මහා විද්‍යාලයක් බවට උසස් ව ඇති අතර එතැන් පටන් රටට දැයට වැඩ ඇති හිතැති පුතුන් තැනීම උදෙසා නොමද කැප කැපකිරීමක් වෙහෙසක් දරා ඇත.  රජයෙන් ලැබෙන දෙයට වඩා උත්සාහයෙන් යමක් උපයා ගැනීමට සමත් අභීත පිරිසක් පාසල් ප්‍රජාවට සිටි නිසා පාසලේ කඩාවැටීම් වලට ඉඩ නොතබා පාසල් නගා සිටුවීමට ගත් උත්සාහයන් පිළිබඳ පැරණි ලොග් සටහන් සාක්ෂි දරයි . මෙම ප්‍රදේශයේ සිටින  බහුතර සාමාන්‍ය වැසියෝ ගොවිතැන් බතින් ජීවිකාව සරි කරගත් අය වූහ.  ආමික පරිසරයත් ග්‍රාමීය වටපිටාවත් ඔවුන්ව ගුණ දහමින් පෝෂණය කළහ. 

එකම දැනුම් තක්ෂිලාව අමුපිටිය මහ විදුහල විය.  ලද දෙයින් සැනසුණ ඔවුහු මහන්සියෙන් ඉගෙන ගත්හ. අද දවසේ මෙරටට මෙන්ම ජාත්‍යන්තරයට ද ආමන්ත්‍රණය කළ හැකි උගතුන් වියතුන් හා බුද්ධිමතුන් රැසක් බිහිවී පැතිරී සිටිනුයේ සිය අධ්‍යාපන ජීවිතයේ පදනම අමුපිටිය ජාතික පාසලෙන් සකස් කිරීමෙන් ය.  ඔවුහු ද එය කෘතවේදීව සඳහන් කරති. 

1999 වර්ෂයේදී  දී ජාතික පාසලක් බවට පත්වන මෙම  විද්‍යාලය ඉන් පසුව රජයේ පිළිගත් ප්‍රමිති  පද්ධතියකට අනුව සිය ගමන් මඟ තහවුරු කර ගැනීම සිදුවිය. පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති  පැවැත්වීමත්,  උසස්පෙළ කලා විශය ධාරාව ස්ථාපනය වීමත් සිසුන් නමසීයක් පමණ හා ගුරුමහත්ම මහත්මීන් පනහකට ආසන්න පිරිසක් සේවයේ යෙදීමත් වත්මන් වන විට සිදුවෙයි.  ජාතික මට්ටමේ විභාග වලදී උසස් ප්‍රති‍ඵල අත්පත් කර ගැනීමත් ඒ නිසාම නගරයේ උසස් පාසල් වලට පිවිසීමේ වරම් බහුතර සිසුන් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමත් සතුටට කරුණකි.  එසේ වන්නේ  අප   ප්‍රදේශයේ සිසුන් සමාජගත වන්නේ අන් අයට නොදෙවෙනි ලෙස ශක්‍යතා අත්පත් කරගැනීමත් වන නිසාවෙනි.  ශිෂ්‍යත්වය සමත් වීම  මත සිසුහු පහක් දහයත් අතර ප්‍රමාණයක් පාසල හැර යති.  අපොස සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වී සිසුහු 20ත් 30ත් අතර ප්‍රමාණයක් පාසල් හැර යති.  ඔවුනවුන්ට වැට කඩොලු නොබැඳුණු යේ තරගකාරී අධ්‍යාපනයක අයිතිය ඔවුන්ට හිමි නිසාය.   වත්මන වනවිට පාසල හමුවේ ඇති අභියෝගය වන්නේ උසස් පෙළ පන්ති සඳහා  සිසුන් නොලැබීමයි.  ඔවුන් පාසල් හැර යන්නේ නව විෂය ධාරාවන් පාසලේ නොමැති නිසයි.  අතීතයේ දී ප්‍රදේශ්යේ සිටි උගත් බුද්ධිමත් පිරිස් උසස් පෙළ පන්ති ආරම්භ කළ ද වර්තමානය වන විට එම තත්ත්වය  වෙනස්ව ඇත.  

 සුන්දර පාසල් පරිසරය
ජනප්‍රිය පාසල් වල උන්මාදය නාගරිකරණය වීමේ  නැඹුරුව මෙන්ම දැඩි ආත්මාර්ථකාමීත්වය පදනම් කරගෙන ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නා නියාවෙන් පාසල් හැර යන්නේ ඇතැම් විට කිසිදු  පදනමක් හෝ  අරමුණක්ද නොමැතිවය. යන්නන් වාලේ යාමක් ලෙසය.  එසේ ගොස් දිනාගත් ලොවක් හෝ දෙයක් ද බහුතරයකට නොමැත.  තත්ත්වය මෙසේ තිබියදී වත්මන් දරු දෙමාපිය අභිප්‍රාය වන්නේ නව විෂය ධාරා පාසලට හඳුන්වාදීම හා ඒ අනුව විෂය අවශ්‍යතා මත ගුරුවරු ලබා ගැනීම වෙනුවෙන් පෙළ සෑදීම ය මෙම පාසල තවදුරටත් නගාසිටුවීම ය.  ඒ සඳහා හැකි සෑමගේ උදව් හා මගපෙන්වීම ලබාදීමත් පාසල චිරාත් කාලයක් වැජඹීමට හේතුවන බව සඳහන් කළ යුතුය.